Saturday, August 11, 2012

කොල්ලෙක්ගෙ නිවාඩුව...............



"හා සර්... මොකො කරන්නෙ?"
ඒ අපේ අල්ලපු  ගෙදරට අල්ලපු ගෙදර මල්ලි. මිනිහ තාම 10 වසරෙ. දැන් ඌටත් නිවාඩු හින්ද අපේ පැත්තට කඩාගෙන වැටිල. කොහොම උනත් මුගෙ ටෝක මට ඇල්ලුවෙ නෑ.
" හලෝ මල්ලි..... කොහොමද ඉතින්? මේදවස්වල නිවාඩුනේ?" මමත් මුකුත් නොදන්න බබා වගේ අහුව.
" ඇයි අය්යට නිවාඩු නැද්ද?" මූ නෝන්ඩියට මගෙන් අහපි.
" නිවාඩු නම් තමයි බොලේ. මෙලෝ රහක් නෑනෙ. ඉතින් මොකෝ අද මේ පැත්තෙ."
" නෑ මේ අයියගෙ ඩොංගලේ වැඩෙයි? මට පොඩ්ඩක් FB  යන්න."
යකෝ මේකට ගිය කල. මූ Facebook පාවිච්චි කරනව කියල දැන් තමයි මම දන්නෙ.
"ආ...ඒකද මේ.... එන්න ඇතුලට"
මම මිනිහට මැශින් එක දීල පැත්තකින් වාඩි වුනා.
මේක මිනිහගෙ Account එකට log වුනා. යකෝ මුගෙ  Freinds ල සේරම කෙල්ලො. ඔන්න දැන් චැට් එකක්. ඒකත් කෙල්ලෙක් එක්ක.
" ඈ බං උබට කෙල්ලො විතරද යාළුවන්ට ඉන්නෙ." මමත් කට කහනවට වගේ ඇහුව.
"නෑ හලෝ නෑ... මම උන්ට වෙනම Fake Account එකක් තියන් ඉන්නව කෙල්ලෙක් වගේ. කොල්ලො ඒකට මරු රස තමයි දෙන්නෙ."
බුදු අම්මෝ මූනෙ පොර. යකෝ මටවත් එච්චර දෙයක් මතක්වුනේ නෑනෙ.
මිනිහ චැට් එකේ ඉදම්ම මට කියනව උගේ කෙල්ලො ගැන.
" ඒ මේකි කොලඹ කෑල්ලක්. මාර ඇ.... තියෙන්නෙ.[බලධාරියා විසින් කපාහරින ලදී] .... මමත් ඉතින් හොදට Fo....... කරනව. වැඩි වයසක් නෑ අවුරුදු 15 ද කොහොද. Inernational එකකට යන්නෙ."
ඌ කියන ඒව ඇත්ත විත්තිය මට ඒ කෙල්ලගෙ Profile පිංතූරෙන්ම තේරුන.
පැය 2ක් විතර මේක කෙල්ලො 30ක් එක්ක විතර එකදිගට චැට්  කලා. ඊටපස්සෙ රෙස්ලිං සයිට් එකකට ගිහින් අළුත් මැච් ගැන හෙව්ව.
කොහොම හරි පැය 3කට විතර පස්සෙ තමයි මිනිහ එලියට බැස්සෙ.
මමත් නිකමට වගේ මිනිහගෙන් ඇහුව මේදවස් වල මොනවද කරන්නෙ කියල. දීපු උත්තරේට මට අයියෝ (රජය මුන්ට උගන්නන්න වියදම් කරන) සල්ලි කියල හිතුන.
" වෙන මොනවද ඉතින් උදේ වරුවෙ කොහාට හරි රිංගල FB  චැටක්  දානව. ඊට පස්සෙ හවස රෙස්ලිං පීස් එකක් බලනව,  යාළුවො එක්ක පන්තියක් ගාවට යනව පොත අත්සන් කරන්න.....හි...... හැන්දෑවට කඩේ ගාවට සෙට්වෙනව.....හි...... ඊට පස්සෙ ඉතින් ගෙදර ඇවිත් නිදාගන්නව."
"එතකොට උඹ කන්නෙ බොන්නෙ නැද්ද?"
" ආ.... ඉඩක් තිබුනොත් ඒකත් කරනව."
"හරි මල්ලි එහෙනම් පරිස්සමෙන් පලයං, බුදු(ම) සරණයි. (රටේ අනාගතයට)"

බලන්න කොච්චරනම් ලස්සන විදියට අපේ බාල පරම්පරාව පාසල් නිවාඩුව ගතකරනවද නේද?


ආදරණීය දුවේ පුතේ ඔබේ පාසල් නිවාඩුවත් මේ වගේනම් ඔබ දෙවරක් ඒ ගැන හිතන්න. ඔබ නිකරුනේ නාස්තිකරන කාලය ගැන හිතන්න. ඔබට හැකිනම් ඔබේ නිවාඩුව ඵලදායීව සංවිධානය කර ගන්න. නෑයන් ගෙ ගෙවල්වල යන්න, යාලුවන් මුනගැහෙන්න යන්න, යාලුවො එක්ක සෙල්ලම් කරන්න, ගෙදරට කුමන හෝ ඵලදායී වැඩක් කරන්න. නිවාඩුව අවසානයේ ආපහු හැරිල බලන විට හිතට සතුටක් දැනෙන කුමන හෝ දෙයක් කරන්න හිතට  ගන්න.

තාක්ශනය ඇත්තේ මිනිසාගේ පහසුවටයි. එය බොහොම ප්‍රවේශමෙන් භාවිතා කල යුතුය. ආවට ගියාට තාක්ශනය භාවිතා කිරීමෙන් තාක්ශනයේ ඇති වටිනාකම ඉබේම අවලංගු වනවා නොවේද?


අපේ නිවාඩු කාලය.....





ඔබ පාසල් අධ්‍යාපනය අවසන් කර සිටින්නෙක් නම් ඔබට මතකද ඔබ පාසල්යන කාලයේ නිවාඩුව ගතකල ආකාරය?
 මම O/L ලිව්වෙ 2003, A/L 2006. O/L වලට කලින් කලෙ තමයි හොදම කාලෙ මොකද විභාග නෑ ණය නෑ  බය නෑ බර නෑ නේ. නමුත් A/L කාලෙ කියන්නෙ යකා බැදගත්ත වගේ වැඩ කරන කාලෙනෙ. ඒක හින්ද ඒකාලෙ නෝ නිවාඩු ඔන්ලි ටියුශන්.
අපේ කාලේ, ඒකියන්නෙ 2003 ට කලින් කාලෙ, අපි නිවාඩුව ගතකලේ මෙහෙමයි.

මුලින්ම නිවාඩු දෙන දවසෙ අපි සෙට් එක කතාකරගනව කොහේ හරියන්න. අපි විශේෂයෙන්ම යන්නෙ ගඟක ඇළ දොළක නාන්න තමයි. ඉතින්  කරුමෙට වගේ අපිට ලඟම තිබුණු දොළ පිහිටල තිබුනෙ මගේ ගමේ. නිවාඩු දෙන දවසට මම තමයි ගමන ඕගනයිස් කරල අපේ සෙට් එක දවාලියෙන් ඉස්කෝලෙන් පන්නන් ගෙදරටත් අහුවෙන්නෙ නැතිවෙන්න දොලට ගෙනයාමේ මහා මෙහෙයුම ක්‍රියාත්මක කරන්නෙ. හැබැයි කොහොම වැඩ දැම්මත් හැමදාම මම අපේ අම්මට මාට්‍ටු. අනිත් අය බේරෙනව.
අපේ සෙට් එක චන්ඩි වගේ දොලේ පීනන්න ගියත් දෙන්නෙකුට තුන්දෙනෙකුට වැඩිය පීනන්න දන්නෙ නෑ.උන් හැමදාම පීනන්න පුරුදුවෙනව. අපේ දොලේ අයිනෙ ගහක අපි වැලක් ගැටගහල ඒකෙ එල්ලිල අපි ටාසන් වගේ දොලට පනිනව. අනිවා ඊට පස්සෙන්දට හෙම්බිරිස්සාවත් සුවර්.




ඊට පස්සෙ නිවාඩුවෙ මුල් දවස් වල අපි ක්‍රිකට් ගහන්න (බෝල ගහන්න) තැනක්  සෙට් කරනව. බොහෝවිට ගොයම් කපල තිබුනොත් අපේ පිට්ටෙන්න වෙන්නෙ වෙල තමයි. හැමදාම හවස 2 ඉදල 7 වෙනකම්  අපි වෙලේ බෝල ගහනව. ටික දවසකින් වෙලට වතුර හැරෙව්වම අපි එල්ලෙ ගහනව. එල්ලෙ ගහන එක තමයි ජොලිම වැඩේ. මොකද හොදට මඩෙ දුවන්න පුළුවන් නිසා. බොහෝ එල්ලෙ මැච් ඉවරවෙන්නෙ මඩ වලියකින්. අනිවාර්යෙන් හැන්දෑවට ගෙදර යන්නෙ ඌරො වගේ. (කොහොමත් ඌරන්ට මොන සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයද). එහෙම ගෙදර ගියාම අම්ම ඉතුරුටික බලා ගන්න නිසා පෙර සුදානමට අපි ලිදෙන් වතුර බාල්දි දෙක තුනක් දාගෙනම තමයි ගෙදර යන්නෙ. (නැත්තම් අම්ම පෝරියල් එක දෙනවනේ)

නිවාඩු දවස් වල උදේ කාලයෙ ගොඩක් වෙලාවට යාළුවන්ගෙ ගෙවල් වල තමයි. ඒවයෙ ගිහින් කුරුම්බ බොනව අඹ, අන්නාසි හොදින් හෝ නරකින් කඩාගෙන කනව. ඒ කියන්නෙ උදේ වරුවම කෑ බණේ තමයි. විශේෂයෙන් කියන්න ඕන අර නරකින් කඩන අන්නසි කන්නෙ ගලක හරි ගහක හරි ගහල කෑලි කඩාගෙන තමයි. තැඹිලි, වෑවර බොන්නෙ උල් කෝ‍ටුවකින් හිල් කරන්. මොකද හොරකමක් කරන කොට කැති පිහි ගෙවල් වලින් ඉල්ලන්න ගියොත් බඩු මාට්‍ටු වෙන නිසා. ඒව කොහොම කෑව බිව්වත් ඒවයෙ තියෙන රහ මතක් වෙනකොට "පස්ටයි ඈ" කියල හිතෙනව.

සමහර කාලවලට අපට සරුංගල් පිස්සුව ගහනව. ඒ කාලෙට ඉතින් කන්නෙ බොන්නෙ නාන්නෙ වැසිකිලි කැසිකිලි යන්නෙ පවා සරුංගලේ අතේ අරන්. මොකද හුලං සුවර් නෑනේ. අපේ ගෙදරට උඩහින් තිබුන කන්දක් වැඩිය උස නෑ. කුරුදු තමයි වගා කරල තිබුනේ. ඔය කන්ද තමයි අපේ සරුංගල් Airport එක.එතන සරුංගල් හදනව, කඩනව, උඩ යවනව, බානව වගේ නානාප්‍රකාර සිදුවීම. අපේ ලොකුම හීනයක් උනේ සරුංගලේ ඩොට් කිරීම. ඒ කියන්නෙ තිතක් තරමට පොඩිවෙන්න සරුංගලේ දුරට යවන එක. අනිත් හීනෙ තමයි නයෙක් අරින එක. නයා අරිනව කියන්නෙ නයා වගේ හදපු ප්‍රමාණයෙන් ලොකු සරුංගලයක් සාර්ථකව ගුවන්ගත කරන එක. නිවාඩුව ඉවර වෙන්න කලින් අපි කොහොමහරි ඔය හීන දෙක නම් හැබෑකරගන්නව.

ඔන්න ඉස්කෝලෙ පටන් ගන්න දවස ලංවෙන කොට තමයි පස්ස ගිනිගන්නෙ. දීපු ගෙදර වැඩ ඒ වෙනකොට මතකත් නෑ. හුටා තමයි. ලියල ඉවර වෙච්ච පොත් ගන්න, බුලත් අතක් ගන්න, පෑන පන්න්සල ගන්න මතක්වෙන්නෙ බොහෝවිට ඉස්කෝලෙ පටන්ගන්න දවසෙ උදේට. උදේ පාන්දර අම්මට කිව්වම අම්ම කියනව "අපරාදේ දැම්ම මතක්වුනේ තාටිකක් පහුවෙල මතක්වුනා නම් ශෝක්" කියල. ඊට පස්සෙ තාත්තත් තා දෙක තුනක් කියලම තමයි ඒව ගෙනත් දෙන්නෙ. හැබැයි මොනව කිව්වත් තාත්ත අනිවාර්යෙන් ඉස්කෝලෙ පටන් ගන්න කලින් ඒව මට ගෙනත් දෙනව. මට මතකයි දවසක් මට ඉස්කෝලෙ සර්ල මිස්ලට වදින්න බුලත් අතක් නැතිව, තාත්ත මම ඉස්කෝලෙට දමල ගෙදර ඇවිත් බුලත් වැල හෙවුනු ගහක නැගල බුලත් කඩාගෙන ඇවිත් මට ගෙනත් දුන්න. එදා තාත්ත හොදටම දාඩිය දාගෙන හති දම දම තමයි ආවෙ. (තාත්තල දරු සෙනෙහස පිටට පෙන්නනෙ නෑ කියන එක ඇත්ත වග දැන් තේරෙනව.)

ඔන්න ඔහොමයි අපේ නිවාඩුව ගෙවුනෙ.....දැන් අයෙ ආපස්සට හැරිල බලද්දි ඒ කාලෙ මාරයි කියල හිතෙනව.

ඔබේ නිවාඩු කාලෙ කොහොමද?


ඉඩක් කඩක් තිබුනොත් අපට කමෙන්‍ටුවක් දාල ඒ මතකයන් අපිත් එක්ක බෙදා ගන්න අපි ඔබට ආරාධනා කරනව.

Images Source - 1 2


Thursday, August 9, 2012

අනේ මන්ද........ මේව කියලත් බෑ නොකියත් බෑ.........



අපි හොරෙන් කතාකරන මාතෘකාව ගැන තමයි අද අපි ප්‍රසිද්ධියේ කථාකරන්න යන්නෙ. මාතෘකාව ලිංගික අධ්‍යාපනය තහනම් වචනය ලිංගිකත්වය. අපේ පහසුවට "ලිංගිකත්වය = මිනිසා " කියල හදාගමු. මොකද එහෙම දෙයක් මේ ලෝකෙ නැත්නම් ඔබත් මමත් අපි කවුරුවත් ලොවෙත් නෑ.
පාසලක මිනිසා ගැන අධ්‍යාපනය හරියට කෙරෙනවද?
මට මතකයි අපි ඉස්කෝලෙ යනකාලෙ අපේ 9 වසරෙ සෞඛ්‍ය පාඩම් පොතේ තිබුන අහවල් පුරුශ හා ස්ත්‍රී ලිංගික පද්ධති 2ක රූප සටහනක්. අපි ඕක බැලුවෙ නිකන් අමුතු සතෙක් දිහා බලන විදියට. ඒ බැලුවෙත් හොරාට. බලල නිකන් හිටියෙ නෑ අපේ පන්තියෙ හිටපු මරුමුස් ඩයල් කලේ පන්තියෙ කෙල්ලො ගාවට ගිහින් " ඒ මෙන්න බලනො" කියල අර රූප සටහන් කෙල්ලන්ට පෙන්නපු එක. කෙල්ලො ඕක බලල අත්දෙකෙන් මූනවහන් ඉන්නව නැත්නම් "ඊ ඊ  ඊ........" කියල කෑගහනව, හරියට අතවර කරන්න හැදුව වගේ.

අපි බොහොම උනන්දුවෙන් හිටියෙ ඔය පාඩම එනකන්. ඒත් අපට සෞඛ්‍ය කල මිස් ඔය පාඩම හිතා මතා මගාරිනවග අපට තේරුණා. දවසක් අපි මිස්ට බලකෙරුව පාඩම් ඉවරනිසා අපි අද අන්තිම පාඩම කරමු කියල. මිස් බොහොම අමාරුවෙන් ගොඩක් හිමින් කාටවත් නෑහෙන්න අපට ඒ පාඩමෙන් පොඩ්ඩක් විතර එදා කලා. එච්චරයි ඊට පස්සෙ ඒගැන මිස්ගෙ නෝ කතා. (හරිනෙ ඉතින් ඒ අහින්සක මනුස්සය මොනව කරන්නද. කොච්චර උනත් ගෑණු කෙනෙක් නේ.)
අපේ අල්ලපු පන්තියට අල්ලන්න ඔන්න මෙන්න කියල තුබුනු පන්තියට සෞඛ්‍ය කලේ සර් කෙනෙක්. ඒ පන්තියටනම් ඔය පාඩම නියමෙට කරල තිබුනලු. උන් අම්බානට හිනා උනාලු.කෙල්ලො බිම බලන් හිටියලු. ඔන්න ලංකාවෙ මනුස්සයන් ගැන අධ්‍යාපනය.

ඇත්තටම වර්ථමානයේ අපට අහන්න ලැබෙන ගොඩක් දේවලට හේතුව මිනිසා ගැන අධ්‍යාපනය හරියාකාරව ලංකාවෙ ක්‍රියාත්මක නොවීමද? කියල වෙලාවකට හිතෙනව. 8,9,10 වසරවල් කියන්නෙ නවයොවුන් විය ආරම්භ වන අවස්ථාවේ සිටින පිරිසගෙන් සමන්විත වසරවල්.ඉතින් ඔය ශ්‍රේණි වල දූදරුවන්ට  (විශේෂයෙන්ම ශිෂ්‍යාවන්ට) හරියාකාරව මිනිසා ගැන අධ්‍යාපනය ලබාදිය යුතුයි කියා නිගමනය කර එම ශ්‍රේණිවල දී එවැනි පාඩම් ඇතුලත් කිරීම නම් අධ්‍යාපන බලධාරීන් ගත් නුවණැති තීන්දුවක් කියල මට හැගෙනව. නමුත් පාසල් වල ඒ පාඩම් හරියාකාරව කෙරෙනවද කියල හොයල බලන්නත් ඕන.
ආසියානු රටවල මිනිස්සු මිනිසා ගැන කතා කරන්නෙ හොර රහසෙන්, ඒ වගේම සමහර කරුණු අපේ සංස්කෘතියට ගැලපෙන්නෙත් නැතිලු. කොහොම උනත් සංස්කෘතියත් ‍රැකගෙන මිනිසා ගැන අධ්‍යාපනයත් හරියාකාරව ලබාදීම සඳහා නුවණැති ලෙස කෙ‍ටුම්පත් සකස් කිරීම සිදුකලයුතු නොවේද?

ඔබ මොකද හිතන්නෙ???????



පසු සටහන් :-  ආදරණීය පාඨකය ලිපිය මුලදී අප විසින් තහනම් වචනය ආදේශ කිරීම තුලින් ඔබගේ රසාස්වාදයට ලටපැවෙන ගතියක් ආවානම් ඒ වෙනුවෙන් මා සමාව ඉල්ලමි. එසේ කිරීමට සිදුවූයේ මෙම ලිපි අප පාසලේ සිසුන් කිහිපදෙනෙක් නරඹන බව මට ඉව වැටීමයි. කොහොම උනත් මගේ මෙව්ව එකත් ‍රැකගතයුතුය. Sorry  හොදේ.....

Tuesday, August 7, 2012

පුදන කොටම කාපි යකා........



අ.පො.ස. උසස් පෙළ විභාගෙ ආරම්භවෙලා අදට දවස් තුනයි. දැනට වෙලා තියෙන දේ මම අමුතුවෙන් කියන්න ඕන නෑනේ. දැනට වැරදි එක ප්‍රශ්නයයි.තව ටික දවසකින් තව මොන මොන වැරදි වෙයිද කවුද දන්නෙ....
ලංකාවෙ අධ්‍යාපන බලධාරීන් එදා ඉදලම ප්‍රශ්න වරද්දගත්ත එක තමයි කලේ. මේ වෙනකොට වරද්දන් තියෙන ප්‍රශ්නත් එක්ක බලද්දි ඕකත් ප්‍රශ්නයක්ද කියල හිතෙනව (ඕවත් ප්‍රශ්නද මල්ලි.... නැට්ට පිටින් අලි මැරෙන්නෙ....). මෙහෙම ගියොත් නම් ලංකාවෙ අධ්‍යාපනයට අහෝ ඛේදයකි ඉරකි තිතකි මල් වැලකි.....  වෙන්න වැඩි කල් යන්නෙ නෑ ෂුවර්.

Monday, August 6, 2012

විභාගේ තමයි අපේ අභාගේ.........




දැන් ඉස්කෝලෙත් නිවාඩු නිසා මට වැඩිය වැඩ නෑ. ඒක නිසා අද උදේ පාන්දර අම්ම හදල දීපු කිරි එකත් බීල රට නංවන්නනම් තවටිකක් නිදාගන්න ඕන කියල හිතාගෙන මම ආයෙ ඇදට වැ‍ටුන. "හා.................හා............. විභාගේ තමයි අපේ අභාගේ....." ටික වෙලාවකින් ඇහෙන්න ගත්ත. මට කරකවල අතෑරිය වගේ.  කවුද දෙයියනේ උදේ පාන්දර යමන් රාගෙ අල්ලන් කෑගහන්නෙ... ටික වෙලාවකින් කාමරේ දොර රෙද්ද ඉස්සුනා අපේ මලය හෙවත් මගේ මල්ලි ප්‍රාදූර්භූත උනා.
"ඒයි උඹ තාම නිදිද?." උදේ පාන්දර හරිම සංවර විදියට අපේ මල්ලි මගෙන් අහනව.
"නැගිටපං අද අපේ විභාගෙ. සුභ පතන්නෙ නැද්ද ආ....."
හැබෑ නේන්නං අද අ.පො.ස. උසස් පෙළ විභාගෙ පටන් ගන්නවනේ. දැන්නෙ මතක් උනේ.
"හොදට විභහගෙ ලියන්න උඹට සියළු දෙවියන්ගේ ආශීර්වාදෙ...ශක්තිය ධෛර්ය ලැබෙන්න ඕන...." මම මගේ සුභ පැතුම පටන් ගත්ත.
"අන්න ..අන්න... උඹ මට කොචොක් කරනව නේ?"  මලය මට කියපි. මට තේරුනේ නෑ මූ කියන දේ.
"ඇයි මගෙ සුභ පැතීම හොද නැද්ද?"
"මට සුභපතල වැඩක් නෑ...ඕයි..... අපි විභාගෙ ලිව්වට අපේ අතේ නෙවෙයි ගේම තියෙන්නෙ. Z එක හදන අය අතේ. ඒක හින්ද මට සුභපතල මොකටද? සුභපතන්න ඕන අධ්‍යාපන බලධාරීන්ට, Z හදන අයට."
අම්මප ඇත්ත නේන්නං. ගොනා වගේ උනාට මූට දිව්‍යලෝක මොලයක් තියෙන්නෙ. හි....අයියගෙම මලය නේ....
කොහොම කොහොම හරි අපේ මලය විභාගෙ ලියන්න පිටත් උනා....එච්චරයි..... Result ආවම බලමුකො.......

අද දින ආරම්භවූ අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සියළු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවහිරයක් බාධාවක් නැතිව විභාගයට මුහුණ දීමටත් විභාගයෙන් පසු අවහිරයක් බාධාවක් නැතිව ප්‍රථිපල ලැබීමටත් වාසනාව ලැබේවා !!!!!!...... සියළු දෙවි දේවතාවුන්ගේ පිහිටාරක්ෂාව ලැබේවා!!!!!!!!!!!!!................

Friday, August 3, 2012

අපිටත් පොඩි ඡන්දයක් දෙන්න....



අපේ Blog එක run වෙන්නෙ මොන විදියටද කියල බලා ගන්න අපිත් ලංකාවේ මිනිස්සුන්ගෙ අගේ ලේ රත්වෙන ක්‍රමයක් පටන් ගත්ත. පොඩි ඡන්දයක්.අද සිට මාසයක කාලයක් අපේ ඡන්දෙ ක්‍රියාත්මකයි.

අපේ Blog එකට ඇවිත් Post බලල පොඩි ඡන්දයක් දමල යන්න අමතක කරන්න එපා හොදේ.....


නිවාඩු පැතුම.....


අද අගෝස්තු 3 , අද ඉදල මාසයක් ඉස්කෝල නිවාඩුයි. ආයෙ පටන් ගන්නෙ සැප්තැම්බර් 3. නිවාඩුව මෙච්චර දිග වුනේ අගෝස්තු මාසෙ විභාග මාසෙ හින්ද. මම කියන්න ඕන නෑනෙ, කවුරුත් දන්නව අගොස්තුවල අ.පො.ස. උසස් පෙළ හා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග පැවැත්වෙන වග.
ඉතින් අද සිසුන් ගුරුවරුන්ට යන්නං සාර්, යන්නං මිස් කියල වැදල ඉස්කෝලෙට ටටා කියල ගෙවල්වලට ගියා අපිත් ඉස්කෝලෙට එහෙනං මාසෙකින් මීට් වෙමු කියල ගෙවල්වල ආව.
ඔන්න ඔතනදි කියන්න ඕන අපේ කාලේ නම් අපි අපේ ගුරුවරු සියළු දෙනාට පාසල අවසන් දවසෙ දණ ගහල වැඳල තමයි ඉස්කෝලෙන් එන්නෙ ඒත් දැන් ටික ටික ඒව අඩුවෙලා. අපි ගොඩක් හොදයි, එහෙම නැත්නම් හොදට වැඩකරනව කියල හිතන් ඉන්න ළමයි තමයි මුලින්ම කාටත් හොරා අද ඉස්කෝලෙන් පැන්නෙ. මට හිතෙන්නෙ නූතන සිසු පරපුර දැනුමට මුල්තැන දෙනව ඕනවට වැඩී කියල. ඒත් නූතන ගුරු පරපුරත් මේ ප්‍රවනතාවට අඩු වැඩි වශයෙන් වගකියන්න ඕන.
(හිතනෙපා මම සාම්ප්‍රධායකාරයෙක් කියල. මම එහෙම කොහොම කෙනෙක් උනත් මගේ විශ්වාසය සමහර පාසල් සම්ප්‍රධායන් හැමදාම තියෙන්න ඕන කියන එක. ඒ දේවල් වලින් තමයි ගුරු සිසු බැදීම ශක්තිමත් වෙන්නෙ, නැද්ද මම කියන්නෙ. සිසුන්ගෙන් වැදුම් ලබන හෘදසාක්ෂියක් හිමි ගුරුවරයෙක් කවදාවත් වැරදි දෙයක් සිසුන්ට උගන්වයිද? කවදාවත් සිසුන් වෙනුවෙන් ඇති තම යුතුකම් පැහැරහරීද? )

තව දෙයක් කියන්න ඕන. පාසල් නිවාඩු දෙන දවස තමයි කොල්ලො ආතල් (කොල්ලන්ගෙ වචන) ගන්න දවස. ඒ කියන්නෙ නිල් ගහ ගැනීම්, ගුටි ගහ ගැනීම්, ලයින් දැමීම් වගේ මෝඩකම ප්‍රදර්ශනය කරන ගොඩක් වැරදි වැඩ සඳහා හොදම දවස විදියට කොල්ලො ‍තෝරගන්නෙ නිවාඩු දෙන දවස. හැබැයි මේ සැරේ අපේ ඉස්කෝලෙ නම් ඒව තිබුනෙම නෑ. විනය ආරක්ශා කරගන්න අපේ ගුරු මහත්වරුන් ගොඩක් මහන්සියෙන් එකමුතුව ක්‍රියා කිරීමතමයි හේතුව. අනිත් ඉස්කෝල ගැන මම දන්නෙ නෑ.

තව එකම එක දෙයක් කියන්න ඕන...... මේ මාසෙ 6 පටන් ගන්න අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින දූදරුවන්ට අපි සුභ පතනව ඒ වගේම ප්‍රර්තනා කරනව හොදට විභාගෙට මූණ දෙන්න කියලනම් නෙවෙයි, විභාගෙන් පස්සෙ ප්‍රථිපල නිකුත් කරද්දි Z-Score අවුලක් නොවේවා කියල. 

නියම නිවාඩුවක් වේවා.....

Tuesday, July 31, 2012

කෙල්ලන් සමග වලියක්......

කොල්ලෙකුට අම්බානට නෙලන කෙල්ලෙක්

ඊයෙ වෙච්ච සිද්ධියක් නිසා අමුතු කල්පනාවක් මට පහලවුනා.
සිද්ධිය මේකයි,
8 වසරේ කොල්ලෙක්ට කෙල්ලෙක් ටොක්කක් ඇන්න. ඊට පස්සෙ කොල්ලො 5 දෙනෙක් විතර අර කෙල්ල වටකරගෙන ඒකිට ටොකු ඇන්න. මම දෙගොල්ලන්ටම බැන්න.

කොල්ලන් හා කෙල්ලන් අතර බැදීම.

1-5 වසර - කවුරුත් එක වගේ වෙනසක් නෑ. එකට සෙල්ලම් කරයි. විනෝදයෙන් සිටී.
6-8 වසර - කෙල්ලන් හා කොල්ලන් අතර සෑම විටම වලි ඇවිලේ. විටෙක කෙල්ලන් කොල්ලන්ට ගුටියක් ඇන දුවයි ඉන්පසු කොල්ලන් පස්සෙන් පන්නමින් කෙල්ලන්ට ගුටි බෙදයි. කෙල්ලන් යටිගිරියෙන් බෙරිහන්දෙයි.
9 වසර - කොල්ලන්ට කෙල්ලන් අමුතු සතුන් සේ පෙනේ.එම නිසා වැඩි තැකීමක් නොකරයි.
10-11 වසර - කොල්ලන්ට කෙල්ලන් ගේ ලස්සන පෙනේ, එම නිසා ඇතැමුන් අතරේ සම්බන්දතා ඇතිවේ. සබඳතා නිසා කොල්ලන් කොල්ලන් අතරේ වලි ඇවිලේ. කෙල්ලෙක් නිසා කොල්ලන් දෙදෙනෙකු ගැ‍ටුම් ඇතිකර ගනී. එවිට එම කොල්ලන්ගේ යාළුවන්ද දෙපිළට බෙදී අමනාපකම වලියක් බවට පරිවර්ථනය කරගනී.
12-13 වසර - කෙල්ලන් කොල්ලන් එක බත්පත බෙදාගෙන කා සහෝදරයන් සේ හැසිරේ. ඇතැමුන් සබඳතා වර්ධනය කර ගනී. ලිංගිකත්ව හැගීම් ඇතිවේ. සහෝදර කෙල්ලන්ගේ යහළු කෙල්ලන් ගැන සිතයි. ඔවුන් ගැන කෙල්ලන්ගෙන් විමසයි.

ඔන්න ඔහොමයි වෙන්නෙ......
ඔබතුමන්ල තුමීන්ල මොකද හිතන්නෙ......


Saturday, July 28, 2012

ගුටියක් කමු....


දඩුවම හා අධ්‍යාපනය



එක්තරා පාසලක ගුරුවරුන් දෙපලක් සිටී. එක් අයෙක් ළමයින්ට උපරිම කරුණාව දක්වයි. අනෙක් කෙනා පොඩි වරදටත් ඒ වරදේ ස්වභාවය අනුව දැනෙන්න දඩුවම් කරයි. නමුත් මොවුන් දෙදනාම සිසුන්ගේ පූර්ණ භක්තියට ආදරයට ගෞරවයට ලක්වේ.
මේක බලන් හිටපු වෙනත් ගුරුභවලතෙක් සමහර ළමයින්ට ආදරයත් සමහරුන්ට උපරිම දඩුවමත් ලබාදීමට පටන් ගත්තේය. ඔහොම ටික දවසක් කරන් යනවිට හදිස්සියේම පාසලට පොලීසියෙන් පැමිණියේය. කාරණාව මෙයයි, අර ගුරුවරිය එක හැන්දෙන් නොබෙදා ඒඒ සිසුවාට ඒ ඒ හැන්දෙන් බෙදීම නිසා සිසුන් කිහිප දෙනෙක් ඔවුන්ට කරන වෙනස්කම් ගැන නිවසට පැමිණිලි කර ඇත. ඉන්පසු දෙමව්පියන් ඉතිරිහරිය බලාගෙන ඇත.

මේ සිදුවීම අප පාසලට ආරංචි වුනේ ඊට දිනකට පසුවයි. ඔන්න එදා දවසේ මාතෘකාව බවට එම සිදුවීම පත්විය. එම කතාබහේ සාරාංශයක්  මා පහතින් දක්වමි.

දඩුවම අනුමත කරන පිරිස,
1. වරද දු‍ටු තැන දඩුවම් කලාට කම් නැත නමුත් දඩුවම ඒ ඒ පුද්ගලයාට අනුව වෙනස් නොවිය යුතුය.(පුදගලානුබද්ද නොවීම)
2. දඩුවම් කලාට කමක් නැත. නමුත් වරදේ ස්වභාවය අනුව දඩුවමේ ස්වභාවය තීරණය විය යුතුය.
3. දඩුවම් කල සැම විටම සංවේදනයක් සිසුවාට ලබාදිය යුතුය.
4. ශරිරික දඩුවම සෑම විටමු සුදුසුය, මානසික දඩුවම එතරම් සුදුසු නොවේ.

දඩුවම අනුමත නොකරන පිරිස,
1. දඩුවම් කිරීම නිශ්ඵලදායකය.
2. දැන් ඉන්න ළමයින්ට ගැහුවට බැන්නට දැනෙන්නේ නෑ. එයාලට ඕන දැනුම විතරයි ගුණධර්ම නොවෙයි.
3. දඩුවමක් දීම කළ යුතුමනම් මානසික දඩුවමක්  දීම සුදුසුය.
4. සිසුන්ට නිවැරදිව අවශ්‍ය දැනුම ලබාදීම ප්‍රමාණවත්ය, දඩුවම අධ්‍යාපනයට අදාල නොවේ.

නීතිය,
සිසුවකුට  දඩුවම් කිරීම කළ යුත්තේ අඩියක් දිගැති කෝ‍ටුවක් අතට ගෙන වැළමිට සිරුරට තදකර සිසුවාගේ උරයට තුන්වරක් සෙමෙන් තට්‍ටු කිරීමයි. මෙය ප්‍රංශ නීතියකි.


දෙමාපිය නීතිය,
හහ් එහෙම කොහෙද, අපේ ළමයට ගහන්න එයා කවුද.... මෙසේ කියා එක්කෝ පොලීසි යයි. නැත්නම් ගුරුවරයා පාරේයන වෙලාවක් බලා තම වාහනය ඔහුට හරස්කර හොදට නෙලා අතපය කඩා දමයි.

මට හිතෙන විදිය,
ළමයින් යනු ළමයින්ය, ළමයා ඒ වෙලාවට හිතෙනදේ කරයි. දඩුවම හෝ වෙනත් දෙයක් ගැන සිතනුයේ ඉන් පසුවය, ඇතැමුන් සිතන්නේම නැත. ගුරුවරුන් දඩුවමක් ලබා දුන්නාට කම් නැත. නමුත් අනිවාර්යයෙන්ම සංවේදනයක් ලබාදිය යුතුය. දඩුවමද නිර්මාණශීලී විය යුතුය. එවිට සිසුවාට එම දඩුවම මතකයේ ‍රැදෙනවා සේම වරද වරදක් බව වටහා ගනී. සෑම සිසුවාටම එක හැන්දෙන් බෙදිය යුතුය.
ගුරුවරයා යනු ගුරුවරයා බව සිසුවාද තේරුම් ගත යුතුය. ඔහු දඩුවමක් ලබා දුනහොත් ඒ සිසුවා යහමගට ගැනීමට බව අමතක නොකල යුතුය.

ඔබට හිතෙන  විදිය,






Images From Here

ඉවරයි....

ගුරුවරයා යනු ණයකාරයෙක්ද?




මනුස්සයෙක් අහන්න අහන්න අකමැතිම වචන වලින් එකක් තමයි තමා ණයකාරයෙක් කියන වචනය. ලෝකෙට ණයකාරයෙක් වෙලා ඉදල මොකටද කියල ඉස්සර අපේ වැඩිහිටියො කියනව මම අහල තියෙනව.
මේලඟදි දවසක අපේ ගුරු සෙට් එක ස්ටාෆ් එකට වෙලා වට මේස සාකච්ඡාවක හිටිය. ඔය වෙලාවෙ තමයි මේ ණය මාතෘකාව එලියට පැන්නෙ.
එක්කෙනෙකුට කියවුනා මගෙ ණය වාරිකෙ අදවත් දමන්න ඕනෙ කියල, ඔන්න ඔය වෙලාවෙදි අනිත් අය කියවන්න ගත්ත තමතමන්ගෙ ණය ගැන. සමහරුන්ගෙ පඩිය 30000 යි ඒත් අතට ලැබෙන්නෙ 3000යි. පඩියෙන් 90%ක් ණය වලට කපාගෙන. කොහොමද දෙවියනේ මෙහෙම ජීවත් වෙන්නෙ?

පැත්තකින් හිටිය මට දැනිච්ච දේ,
බහුතරයක් ණයකාරයන් වග සැබෑය. නමුත් ඔවුන් මෙතරම් ණය ලබාගනුයේ ඇයි?
1. උග්‍ර ආර්ථික අර්බුදය හමුවේ ලැබෙන සොච්චම් පඩිය කැළණි පාලම යටින් ගිය පොල් ලෙල්ලක්  මෙන් වීම.
2. ඇතැම් අයගේ විනෝදාංශය "ණය ගැනීම" නිසාය. (මා දන්න එක් චරිතයක් ඇත. ඔහු මසකට වරක් කාගෙන් හෝ ණයක් ගනී.එමෙන්ම පොල්ලක්ද තබයි.)
3. ණයක් වත් නොගෙන තම තමන්ගේ අවශ්‍යතා ඉ‍ටුකර ගැනීම ඉතා අසීරු නිසාය. (නිවසක් තැනීම, මගුල්,අවමගුල්,දාන)
4. මුළු රටම ණයකාරයන්ව ඇතිනිසා අපිත් ණයකාරයන් වීම සුදුසු නිසා.

ලස්සනම දේ ඇතැමුන් ණය ගැනීම ගැන ගල් පැලෙන තර්ක යොදමින් විවේචනය කරන අතරම හවසට බැංකුවේ ණය පෝලිමේ සිටීමය.

* ණය නොගෙන ජීවත් විය හැකිද? ඒ කෙසේද?
මේ ප්‍රශ්නයට පිළිතුරු දීම පාඨක ඔබට බාරයි.
(තහනම් වචනය "ටියුශන්".)

වැදගත් :-
1. "ණයකාරයා"- මෙම වචනය භාවිතා නොකර බැරි නිසා භාවිතා කළෙමි. මාද ඇතුළුව සමස්ථ ගුරු පරපුරට අවනම්බු කිරීමට භාවිතා නොකළෙමි. තරහා අවසර හොදේ.....
2. ගුරුසෙත ණය නවතා ඇත. ( බැංකුවේ තැන්පතු ප්‍රමාණයට වඩා ණය ලබාදී ඇති නිසා ණය නවතා ඇතැයි තතුදත් ආරංචි මාර්ග පවසයි.) දැන් ඉතින් වෙන සෙතක් බලා ගැනීම නුවනට හුරුය.


අවසානයට:-
කෙනෙකුට ණයක් ලබාගෙන එය ගෙවීමේ හැකියාව ඇත්නම් අපට ඇති රුදාව කිම. ණය ගන්නෝ ණය ගත්වා අනෙක් ඈයෝ ඒත් ණය ගත්වා..... හැකි අයුරකින් සියල්ලෝම ගොඩ යත්වා.....

ඉවරයි.........

Images added from here


Monday, May 28, 2012

මට පරණ යාළුවකු මුණගැසුනෙමි.


මට පරණ යාළුවකු මුණගැසුනෙමි.
හලෝ.... මචං කොහොමද ඉතින්.....??????
මාව දැක්ක ගමන් මේ යකා මහ හයියෙන් අහපි. මට දෙලෝ රත්විය. මේ සිද්ධිය වනවිට මා සිටියේ මාගේ නිල රථය (ලංගම බස් රථය) පැමිණෙන තෙක් පාසල ලඟ බස් නැවතුමේය.

පූර්ණ පහසුකම් වලින් යුත් මාගේ නවතම නිළ රථ වලින් එකක්.. 
ටික වෙලාවකින් මගේ බලුප් පත්තුවිය එම එලියෙන් හිතේ කොහේදෝ අස්සක මල බැදෙමින් තිබූ පැරණි මතකයන් හොරෙන් හොරෙන් හිතට නැගුණි.
මේකා අපේ පන්තියෙ හිටියෙ 6,7 වසරවල් දෙකේම. 7 වසරෙ මැදදි එයා වෙන ඉස්කෝලෙකට හිමින් මාරුවිය. ඉන් ඉක්බිතිව මූ මට හමුවූ පළමු වතාව මෙයයි. දෙය්යෝ සාක්කි...... මූට මාව තාම මතකයි.... ඒත් මට මෙයාව අදුරගන්න විනාඩි 2ක්3ක් ගියා. මිනිහ ගොඩක් වෙනස් වෙලා... ‍රැවුල වැවිල... ඇස් මුතුයි.... කලබල පාටයි...
මම පොඩ්ඩක් කථාවට වැ‍ටුන... එතකොටයි දැන ගත්තෙ... මූ බැදල ළමයෙක් ඉන්නවලු... තවත් චන්ද ප්‍රතිපලයක් හෙට අනිද්දලු.
මම අහුව "ඉතින් මචං උබ මොනවද කරන්නෙ?"......" මොනවද මචං මම නොකරන්නෙ...ජීවත් වෙන්න කරන්න පුළුවන් හැමදේම කරනව. උබලට නම් දැන් හොදයි වගේ උබ මොනවද කරන්නෙ?".... මම කරන දේ මම මිනිහට කිව්ව ඊට පස්සෙ බස් එක ආව.

එච්චරයි.........

පසු සටහන - මට අද හමුවූ යාළුවා මගේ වයසේම (25 yrs) අපේ පන්තිවල හිටිය හොදට වැඩ කරන්න පුළුවන් වර්ගයේ (මීටරයක්) චරිතයකි. නමුත් ඔහු 7 වසරේ දී පමණ වෙනත් ලොකු පාසලකට මාරුවිය. මා දන්නේ එපමණකි... ඉන් ඉක්බිති එම ජීවිතය කෙසේ වෙනස් වූවේදැයි මට තවමත් නොතේරේ......

ඔබ මොකද හිතන්නෙ?

සැලකිය යුතුයි - මෙහි භාවිතා කර ඇති "ඌ,මූ,ඒකා,යකා,මචං" වැනි වචන එම පුද්ගලයාට අවමන් කිරීමේ කැත හිතෙන් භාවිතා නොකලෙමි. හුදෙක් යහළුවන් අතර ඇති මෙව්ව එක නිසා භාවිතා කලෙමි.



Thursday, May 24, 2012

ටියුෂන් ප්‍රශ්න පත්‍රය


ප්‍රශ්න සියල්ලටම ගැලපෙන හෝ වඩාත් ගැලපෙන පිළිතුරු ‍තෝරා ඔබේ හෘද සාක්ෂියටද හොදින් සවන්දී පිළිතුරු සපයන්න.

ටිටිටියුෂන් කිව්වම කව්ද නොදන්නෙ. මොනවටද ටියුෂන් නොදෙන්නෙ. කොතන්ද ටියුෂන් නැත්තෙ.
ආකර්ෂනීය ටියුෂන් පංති දැන්වීමක්

උපකාරක පංති එහෙම නැත්නම් ටියුෂන් පංති කොතරම් අප සමාජයේ මුල් බැසගෙන ඇත්ද යත්, ඇතැම් පාසල් වල ශිෂ්‍යයන් පාසල් දිනයන් වලත් පාසල් නොගොස් ටියුෂන් පංති සඳහා සහභාගීවන අවස්ථා ඕනෑතරම් දක්නට ලැබෙනව නොවෙද? 

01). මෙසේ වන්නේ ඇයි?
i. පාසල් අධ්‍යාපනයට වඩා ටියුෂන් පන්තිවලින් පරිපූර්ණ අධ්‍යාපනයක් ලැබෙන නිසාද?
ii. පාසල් යාමට වඩා ටියුෂන් පන්තියට යාමෙන් තම දරුවන් ගේ අනාගතය සර්වප්‍රකාරයෙන් සාර්ථක වනවා යැයි දෙමාපියන් සිතන නිසාද?
iii. තම සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන් ටියුෂන් යන නිසා තමාද අනිවාර්යයෙන්  ටියුෂන් යායුතු යැයි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සිතන නිසාද?
iv. පාසලේ වැඩ කරන අතරේ ටියුෂන් එකක් ද කලයුතු යැයි ගුරුවරුන් සිතන නිසාද?


02). ටියුෂන් යනු සමාජයට පිලිලයක්ද?
i. ඔව්, අනිවාර්යයෙන්ම
ii. අපෝ! කිසිසේත්ම නැත.
iii. සමහර විට වෙන්න පුළුවන්
iv. හරියට කරනව නම් වරදක්ද නැත.

03). පාසල් ගුරුවරයෙක් වුනාම ටියුෂන් කරන්නම ඕනද?
i. ඔව්, අනිවාර්යයෙන්ම
ii. අපෝ! ඒක එච්චර හරි නෑ
iii. කාලය හා හැකියාව ඇත්නම් කලාට කමක් නැත.
iv. සිසුන්ගේ අවශ්‍යතාව මත ඔවුන්ගේ ආරාධනයෙන් එකක් දෙකක් කලාට කම් නැත.

04). ටියුෂන් පංති සහමුලින්ම නවතා දැමිය යුතුයැයි ඔබ සිතන්නේ නම් ඒ සඳහා ගත හැකි ක්‍රියාමාර්ගය වනුයේ,
i. ටියුෂන් පංති පැවැත්වීම තහනම් කිරීම
ii. පාසල් සවස 3 දක්වා පැවැත්වීම
iii. දරුවන් තුල පාසල හා පාසල් අධ්‍යාපනය කෙරෙහි ධනාත්මක ආකල්ප ඇති කිරීම
iv. පාසල් අධ්‍යාපනය තවදුරටත් නවීකරණය කර දරුවන්ට හා ගුරුවරුන්ට ප්‍රියජනක ඉගෙනුම් ඉගැන්වීම් අවස්ථා වර්ධනය

05). අවසන් වශයෙන් කීමට ඇත්තේ?
___________________________________________________________________
___________________________________________________________________
___________________________________________________________________

ඔබේ පිළිතුරු හැරෙන තැපෑලෙන් comment කරන්න. ටියුෂන් පන්තියක වටිනා පරණ කාඩ්පතක් දිනාගන්න.

ප.ලි. මම පාසලට ගිය මුල්ම දවස්වල ගොඩක් අය මගෙන් ඇහුව සර් ටියුෂන් කරන්නෙ නැද්ද කියල. ඉතින් මමත් කිව්ව ඔව් කරනව කියල (ලැජ්ජාව වහ ගන්න). මේ පඩියෙන් වැඩක් කරගන්න බොහොම අමාරුයි , ඒත් මොන හේතුවටද මන්ද මට ටියුෂන් කරන්න හිතෙන්නෙ නෑ...... ගුරුවරයෙක් උනාම ටියුෂන් අනිවාර්යයෙන්ම කරන්න ඕන කියල නීතියක් නෑනෙ...... 

අනාගතයේ මුණගැසෙමු......................

Sunday, May 6, 2012

උදේට කමු..............



ඉස්කෝලෙ පටන් අරන් සති 2ක් ගෙවිල ගියපු ඉක්මන.
අපේ කොල්ලො කෙල්ලො අවුරුදු කාල අපටත් අරන් ඇවිත්. පටන් ගත්ත දවසෙ දකින් දකින තැන වන්දනා මාන. මේක ලියන්න පටන් ගත්තෙ ඒව කියන්න නෙවෙයි. උදේ ‍රැස්වීමෙ වෙච්ච දෙයක් කියන්න.

එක දවසක උදේ ‍රැස්වීමෙ හිටපු ළමයෙක් එක පාරටම දඩාස් ගාල බිමට පතිත උනා. අපේ සර්ල ළමය උස්සන් විවේකාගාරයට ගෙනාව. මාත් පස්සෙන් පහලට ආව මොකද උනේ බලන්න. ළමය 10 වසරෙ වැඩටත් දක්ෂයෙක්. ඒ ළමයට සාත්තු කලාම සිහිය ආව. අපි ඇහුව මොකද උනේ කියල.  "එක පාරටම නිල්පාට උනා එච්චරයි මතක " එහෙම කිව්ව. අපි තවත් විස්තර ඇහුව. වැඩිය විස්තරයක් කියන්නෙ නෑ. හැබයි මෙයා මේ කලන්තෙදාල වැ‍ටුනමලු මීට කලින් මෙහෙම දෙයක් වුනේ නෑ කියල කිව්ව. අපි එයාගෙ තාත්තට කථාකලා ඇවිත් පුතාව එක්ක යන්න කියල.
පැයකට විතර පස්සෙ තාත්ත ආව. අපි විස්තරේ කිව්ව ඊට පස්සෙ ඒ ළමයගෙ තාත්ත මාර කථාවක් කිව්ව....
"අනේ සර් අපෙ කොල්ල කවදාවත් උදේට කන්නෙ නෑ, තේ එක බොනගමන් විස්කෝත්තක් කනව එච්චරයි. හැබැයි බත් එක අරන් එනව ඉන්ටර්වල් එකට කන්න." අපි ඇහුව ඔයාල උදේට කන්න බලකරන්නෙ නැද්ද කියල, "මොන බලකිරිලිද සර් කිව්වට අහන්නෙ නෑ"
කියල ඒ තාත්ත කිව්ව.


මේ වගේ සිදුවීම් බොහෝ පාසල් වලට පොදු දෙයක් .
වර්ථමානයේ බොහෝ සිසුන් උදේ ආහාරය මගහැර තමයි පාසලට එන්නෙ. ඒකෙන් වෙන්නෙ රෝගී සිසු පරපුරක් පාසල් පද්ධතියෙන් බිහිවීම පමණයි.


මෙතනදි සෘජුවම සම්පූර්ණ වගකීම පැවරෙන්නෙ දෙමාපියන් අතේ. ඔවුන් දැනගන්න ඕන තමන්ගෙ දුවට පුතාට උදේ ආහාරය ලබා දෙන්න. නමුත් දෙමවුපියන් කාර්යබහුල වීම නිසා ඔවුන් දරුවන්ගේ ජීවිත අනතුරට ලක් කරනවග පැහැදිලියි. අම්මේ තාත්තේ පුතාට දුවට උදේට හොද ආහාර වේලක් ලබා දෙන්න (හොදින් හෝ නරකින්).
උදේට ඉදි ආප්ප ගෑරුප්පුවෙන් කන ළමයින්


Wednesday, April 18, 2012

ලගින් ගියොත් ඇහැක් නෑ.........


අද අපට ආසන්න යේ ඇති නගරයට ගියෙමි.
අතරමගදී යමක් දුටිමි.
එය දු‍ටු සැටියේ ඇස පිනා ගියෙමි නමුත් අවසානයේ එය පත්ව ඇති ආකාරය නිසා හද්ද දුක්ක හදවත පසාරු කරගෙන ගොස් බොක්කටම වැදුනි.
එමනිසා රිදුනි.
අහෝ! නිවාඩුව පාසලට කර ඇති හානිය.........

------------------ඉවරයි----------------------

Tuesday, April 17, 2012

දැන් නිවාඩු කාලෙ හින්ද නෑ ඉස්කෝලේ.....

           අනේද කියන්නෙ, අපි පුංචි කාලෙ නම් ඉස්කෝලෙ නිවාඩු දුන්නම අපට නිකන් මහමෙරක් ලැබුන වගේ තමයි. මාර ජොලි.... ඒත් දැන් නිවාඩු දීපු මුල් දවස් වලනම් අවුලක් නෑ ඒත් ටික දවසක් යද්දි නිවාඩුවත් එපා වෙනව. අයෙත් ඉස්කෝලෙ තිබුනනම් හොදයි කියල හිතෙනව.
           මේක මාර ජීවිතයක් කාලයකට එපිට අපි ගොඩක් ආසකල දේවල් කාලයකට පස්සෙ අපිට අමතක වෙනව/ එපා වෙනව. හැමදේම හැමදාම තියෙන්නෙ නෑ තමයි ඒත් හැමදේම ටික කලකින් එපාවෙන්නෙ අපි මනුස්සයො හින්ද වෙන්න ඇති. 
            මේක මාර ජීවිතයක් කාලයකට එපිට අපි ගොඩක් ආසකල දේවල් කාලයකට පස්සෙ අපිට අමතක වෙනව/ එපා වෙනව. හැමදේම හැමදාම තියෙන්නෙ නෑ තමයි ඒත් හැමදේම ටික කලකින් එපාවෙන්නෙ අපි මනුස්සයො හින්ද වෙන්න ඇති.
             බුදුහාමුදුරුවොත් වදාරල තියෙනවනේ මේ ලෝකෙ කිසිම දෙයක් ස්ථිර නෑ කියල. එහෙව් එකේ පාසල් නිවාඩුවත් අපට දැනෙන විදිය කාලෙන් කාලෙට වෙනස් වෙන්න ඕන නේ.
               නිවාඩුව මට මේ විදියට දැනෙන්නෙ මම තාම ඉස්කෝලෙ යන හින්ද වෙන්න ඇති ඒත් මට හිතා ගන්න අමාරුයි පාසල් නොයන කෙනෙකුට නිවාඩුව දැනෙන විදිය.... සමහර අයෙකුට දැනෙන්නෙම නතුවත් ඇති......???????

----------ඉවරයි------------