Saturday, August 11, 2012

අපේ නිවාඩු කාලය.....





ඔබ පාසල් අධ්‍යාපනය අවසන් කර සිටින්නෙක් නම් ඔබට මතකද ඔබ පාසල්යන කාලයේ නිවාඩුව ගතකල ආකාරය?
 මම O/L ලිව්වෙ 2003, A/L 2006. O/L වලට කලින් කලෙ තමයි හොදම කාලෙ මොකද විභාග නෑ ණය නෑ  බය නෑ බර නෑ නේ. නමුත් A/L කාලෙ කියන්නෙ යකා බැදගත්ත වගේ වැඩ කරන කාලෙනෙ. ඒක හින්ද ඒකාලෙ නෝ නිවාඩු ඔන්ලි ටියුශන්.
අපේ කාලේ, ඒකියන්නෙ 2003 ට කලින් කාලෙ, අපි නිවාඩුව ගතකලේ මෙහෙමයි.

මුලින්ම නිවාඩු දෙන දවසෙ අපි සෙට් එක කතාකරගනව කොහේ හරියන්න. අපි විශේෂයෙන්ම යන්නෙ ගඟක ඇළ දොළක නාන්න තමයි. ඉතින්  කරුමෙට වගේ අපිට ලඟම තිබුණු දොළ පිහිටල තිබුනෙ මගේ ගමේ. නිවාඩු දෙන දවසට මම තමයි ගමන ඕගනයිස් කරල අපේ සෙට් එක දවාලියෙන් ඉස්කෝලෙන් පන්නන් ගෙදරටත් අහුවෙන්නෙ නැතිවෙන්න දොලට ගෙනයාමේ මහා මෙහෙයුම ක්‍රියාත්මක කරන්නෙ. හැබැයි කොහොම වැඩ දැම්මත් හැමදාම මම අපේ අම්මට මාට්‍ටු. අනිත් අය බේරෙනව.
අපේ සෙට් එක චන්ඩි වගේ දොලේ පීනන්න ගියත් දෙන්නෙකුට තුන්දෙනෙකුට වැඩිය පීනන්න දන්නෙ නෑ.උන් හැමදාම පීනන්න පුරුදුවෙනව. අපේ දොලේ අයිනෙ ගහක අපි වැලක් ගැටගහල ඒකෙ එල්ලිල අපි ටාසන් වගේ දොලට පනිනව. අනිවා ඊට පස්සෙන්දට හෙම්බිරිස්සාවත් සුවර්.




ඊට පස්සෙ නිවාඩුවෙ මුල් දවස් වල අපි ක්‍රිකට් ගහන්න (බෝල ගහන්න) තැනක්  සෙට් කරනව. බොහෝවිට ගොයම් කපල තිබුනොත් අපේ පිට්ටෙන්න වෙන්නෙ වෙල තමයි. හැමදාම හවස 2 ඉදල 7 වෙනකම්  අපි වෙලේ බෝල ගහනව. ටික දවසකින් වෙලට වතුර හැරෙව්වම අපි එල්ලෙ ගහනව. එල්ලෙ ගහන එක තමයි ජොලිම වැඩේ. මොකද හොදට මඩෙ දුවන්න පුළුවන් නිසා. බොහෝ එල්ලෙ මැච් ඉවරවෙන්නෙ මඩ වලියකින්. අනිවාර්යෙන් හැන්දෑවට ගෙදර යන්නෙ ඌරො වගේ. (කොහොමත් ඌරන්ට මොන සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයද). එහෙම ගෙදර ගියාම අම්ම ඉතුරුටික බලා ගන්න නිසා පෙර සුදානමට අපි ලිදෙන් වතුර බාල්දි දෙක තුනක් දාගෙනම තමයි ගෙදර යන්නෙ. (නැත්තම් අම්ම පෝරියල් එක දෙනවනේ)

නිවාඩු දවස් වල උදේ කාලයෙ ගොඩක් වෙලාවට යාළුවන්ගෙ ගෙවල් වල තමයි. ඒවයෙ ගිහින් කුරුම්බ බොනව අඹ, අන්නාසි හොදින් හෝ නරකින් කඩාගෙන කනව. ඒ කියන්නෙ උදේ වරුවම කෑ බණේ තමයි. විශේෂයෙන් කියන්න ඕන අර නරකින් කඩන අන්නසි කන්නෙ ගලක හරි ගහක හරි ගහල කෑලි කඩාගෙන තමයි. තැඹිලි, වෑවර බොන්නෙ උල් කෝ‍ටුවකින් හිල් කරන්. මොකද හොරකමක් කරන කොට කැති පිහි ගෙවල් වලින් ඉල්ලන්න ගියොත් බඩු මාට්‍ටු වෙන නිසා. ඒව කොහොම කෑව බිව්වත් ඒවයෙ තියෙන රහ මතක් වෙනකොට "පස්ටයි ඈ" කියල හිතෙනව.

සමහර කාලවලට අපට සරුංගල් පිස්සුව ගහනව. ඒ කාලෙට ඉතින් කන්නෙ බොන්නෙ නාන්නෙ වැසිකිලි කැසිකිලි යන්නෙ පවා සරුංගලේ අතේ අරන්. මොකද හුලං සුවර් නෑනේ. අපේ ගෙදරට උඩහින් තිබුන කන්දක් වැඩිය උස නෑ. කුරුදු තමයි වගා කරල තිබුනේ. ඔය කන්ද තමයි අපේ සරුංගල් Airport එක.එතන සරුංගල් හදනව, කඩනව, උඩ යවනව, බානව වගේ නානාප්‍රකාර සිදුවීම. අපේ ලොකුම හීනයක් උනේ සරුංගලේ ඩොට් කිරීම. ඒ කියන්නෙ තිතක් තරමට පොඩිවෙන්න සරුංගලේ දුරට යවන එක. අනිත් හීනෙ තමයි නයෙක් අරින එක. නයා අරිනව කියන්නෙ නයා වගේ හදපු ප්‍රමාණයෙන් ලොකු සරුංගලයක් සාර්ථකව ගුවන්ගත කරන එක. නිවාඩුව ඉවර වෙන්න කලින් අපි කොහොමහරි ඔය හීන දෙක නම් හැබෑකරගන්නව.

ඔන්න ඉස්කෝලෙ පටන් ගන්න දවස ලංවෙන කොට තමයි පස්ස ගිනිගන්නෙ. දීපු ගෙදර වැඩ ඒ වෙනකොට මතකත් නෑ. හුටා තමයි. ලියල ඉවර වෙච්ච පොත් ගන්න, බුලත් අතක් ගන්න, පෑන පන්න්සල ගන්න මතක්වෙන්නෙ බොහෝවිට ඉස්කෝලෙ පටන්ගන්න දවසෙ උදේට. උදේ පාන්දර අම්මට කිව්වම අම්ම කියනව "අපරාදේ දැම්ම මතක්වුනේ තාටිකක් පහුවෙල මතක්වුනා නම් ශෝක්" කියල. ඊට පස්සෙ තාත්තත් තා දෙක තුනක් කියලම තමයි ඒව ගෙනත් දෙන්නෙ. හැබැයි මොනව කිව්වත් තාත්ත අනිවාර්යෙන් ඉස්කෝලෙ පටන් ගන්න කලින් ඒව මට ගෙනත් දෙනව. මට මතකයි දවසක් මට ඉස්කෝලෙ සර්ල මිස්ලට වදින්න බුලත් අතක් නැතිව, තාත්ත මම ඉස්කෝලෙට දමල ගෙදර ඇවිත් බුලත් වැල හෙවුනු ගහක නැගල බුලත් කඩාගෙන ඇවිත් මට ගෙනත් දුන්න. එදා තාත්ත හොදටම දාඩිය දාගෙන හති දම දම තමයි ආවෙ. (තාත්තල දරු සෙනෙහස පිටට පෙන්නනෙ නෑ කියන එක ඇත්ත වග දැන් තේරෙනව.)

ඔන්න ඔහොමයි අපේ නිවාඩුව ගෙවුනෙ.....දැන් අයෙ ආපස්සට හැරිල බලද්දි ඒ කාලෙ මාරයි කියල හිතෙනව.

ඔබේ නිවාඩු කාලෙ කොහොමද?


ඉඩක් කඩක් තිබුනොත් අපට කමෙන්‍ටුවක් දාල ඒ මතකයන් අපිත් එක්ක බෙදා ගන්න අපි ඔබට ආරාධනා කරනව.

Images Source - 1 2


No comments:

Post a Comment