Tuesday, August 7, 2012

පුදන කොටම කාපි යකා........



අ.පො.ස. උසස් පෙළ විභාගෙ ආරම්භවෙලා අදට දවස් තුනයි. දැනට වෙලා තියෙන දේ මම අමුතුවෙන් කියන්න ඕන නෑනේ. දැනට වැරදි එක ප්‍රශ්නයයි.තව ටික දවසකින් තව මොන මොන වැරදි වෙයිද කවුද දන්නෙ....
ලංකාවෙ අධ්‍යාපන බලධාරීන් එදා ඉදලම ප්‍රශ්න වරද්දගත්ත එක තමයි කලේ. මේ වෙනකොට වරද්දන් තියෙන ප්‍රශ්නත් එක්ක බලද්දි ඕකත් ප්‍රශ්නයක්ද කියල හිතෙනව (ඕවත් ප්‍රශ්නද මල්ලි.... නැට්ට පිටින් අලි මැරෙන්නෙ....). මෙහෙම ගියොත් නම් ලංකාවෙ අධ්‍යාපනයට අහෝ ඛේදයකි ඉරකි තිතකි මල් වැලකි.....  වෙන්න වැඩි කල් යන්නෙ නෑ ෂුවර්.

Monday, August 6, 2012

විභාගේ තමයි අපේ අභාගේ.........




දැන් ඉස්කෝලෙත් නිවාඩු නිසා මට වැඩිය වැඩ නෑ. ඒක නිසා අද උදේ පාන්දර අම්ම හදල දීපු කිරි එකත් බීල රට නංවන්නනම් තවටිකක් නිදාගන්න ඕන කියල හිතාගෙන මම ආයෙ ඇදට වැ‍ටුන. "හා.................හා............. විභාගේ තමයි අපේ අභාගේ....." ටික වෙලාවකින් ඇහෙන්න ගත්ත. මට කරකවල අතෑරිය වගේ.  කවුද දෙයියනේ උදේ පාන්දර යමන් රාගෙ අල්ලන් කෑගහන්නෙ... ටික වෙලාවකින් කාමරේ දොර රෙද්ද ඉස්සුනා අපේ මලය හෙවත් මගේ මල්ලි ප්‍රාදූර්භූත උනා.
"ඒයි උඹ තාම නිදිද?." උදේ පාන්දර හරිම සංවර විදියට අපේ මල්ලි මගෙන් අහනව.
"නැගිටපං අද අපේ විභාගෙ. සුභ පතන්නෙ නැද්ද ආ....."
හැබෑ නේන්නං අද අ.පො.ස. උසස් පෙළ විභාගෙ පටන් ගන්නවනේ. දැන්නෙ මතක් උනේ.
"හොදට විභහගෙ ලියන්න උඹට සියළු දෙවියන්ගේ ආශීර්වාදෙ...ශක්තිය ධෛර්ය ලැබෙන්න ඕන...." මම මගේ සුභ පැතුම පටන් ගත්ත.
"අන්න ..අන්න... උඹ මට කොචොක් කරනව නේ?"  මලය මට කියපි. මට තේරුනේ නෑ මූ කියන දේ.
"ඇයි මගෙ සුභ පැතීම හොද නැද්ද?"
"මට සුභපතල වැඩක් නෑ...ඕයි..... අපි විභාගෙ ලිව්වට අපේ අතේ නෙවෙයි ගේම තියෙන්නෙ. Z එක හදන අය අතේ. ඒක හින්ද මට සුභපතල මොකටද? සුභපතන්න ඕන අධ්‍යාපන බලධාරීන්ට, Z හදන අයට."
අම්මප ඇත්ත නේන්නං. ගොනා වගේ උනාට මූට දිව්‍යලෝක මොලයක් තියෙන්නෙ. හි....අයියගෙම මලය නේ....
කොහොම කොහොම හරි අපේ මලය විභාගෙ ලියන්න පිටත් උනා....එච්චරයි..... Result ආවම බලමුකො.......

අද දින ආරම්භවූ අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සියළු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවහිරයක් බාධාවක් නැතිව විභාගයට මුහුණ දීමටත් විභාගයෙන් පසු අවහිරයක් බාධාවක් නැතිව ප්‍රථිපල ලැබීමටත් වාසනාව ලැබේවා !!!!!!...... සියළු දෙවි දේවතාවුන්ගේ පිහිටාරක්ෂාව ලැබේවා!!!!!!!!!!!!!................

Friday, August 3, 2012

අපිටත් පොඩි ඡන්දයක් දෙන්න....



අපේ Blog එක run වෙන්නෙ මොන විදියටද කියල බලා ගන්න අපිත් ලංකාවේ මිනිස්සුන්ගෙ අගේ ලේ රත්වෙන ක්‍රමයක් පටන් ගත්ත. පොඩි ඡන්දයක්.අද සිට මාසයක කාලයක් අපේ ඡන්දෙ ක්‍රියාත්මකයි.

අපේ Blog එකට ඇවිත් Post බලල පොඩි ඡන්දයක් දමල යන්න අමතක කරන්න එපා හොදේ.....


නිවාඩු පැතුම.....


අද අගෝස්තු 3 , අද ඉදල මාසයක් ඉස්කෝල නිවාඩුයි. ආයෙ පටන් ගන්නෙ සැප්තැම්බර් 3. නිවාඩුව මෙච්චර දිග වුනේ අගෝස්තු මාසෙ විභාග මාසෙ හින්ද. මම කියන්න ඕන නෑනෙ, කවුරුත් දන්නව අගොස්තුවල අ.පො.ස. උසස් පෙළ හා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග පැවැත්වෙන වග.
ඉතින් අද සිසුන් ගුරුවරුන්ට යන්නං සාර්, යන්නං මිස් කියල වැදල ඉස්කෝලෙට ටටා කියල ගෙවල්වලට ගියා අපිත් ඉස්කෝලෙට එහෙනං මාසෙකින් මීට් වෙමු කියල ගෙවල්වල ආව.
ඔන්න ඔතනදි කියන්න ඕන අපේ කාලේ නම් අපි අපේ ගුරුවරු සියළු දෙනාට පාසල අවසන් දවසෙ දණ ගහල වැඳල තමයි ඉස්කෝලෙන් එන්නෙ ඒත් දැන් ටික ටික ඒව අඩුවෙලා. අපි ගොඩක් හොදයි, එහෙම නැත්නම් හොදට වැඩකරනව කියල හිතන් ඉන්න ළමයි තමයි මුලින්ම කාටත් හොරා අද ඉස්කෝලෙන් පැන්නෙ. මට හිතෙන්නෙ නූතන සිසු පරපුර දැනුමට මුල්තැන දෙනව ඕනවට වැඩී කියල. ඒත් නූතන ගුරු පරපුරත් මේ ප්‍රවනතාවට අඩු වැඩි වශයෙන් වගකියන්න ඕන.
(හිතනෙපා මම සාම්ප්‍රධායකාරයෙක් කියල. මම එහෙම කොහොම කෙනෙක් උනත් මගේ විශ්වාසය සමහර පාසල් සම්ප්‍රධායන් හැමදාම තියෙන්න ඕන කියන එක. ඒ දේවල් වලින් තමයි ගුරු සිසු බැදීම ශක්තිමත් වෙන්නෙ, නැද්ද මම කියන්නෙ. සිසුන්ගෙන් වැදුම් ලබන හෘදසාක්ෂියක් හිමි ගුරුවරයෙක් කවදාවත් වැරදි දෙයක් සිසුන්ට උගන්වයිද? කවදාවත් සිසුන් වෙනුවෙන් ඇති තම යුතුකම් පැහැරහරීද? )

තව දෙයක් කියන්න ඕන. පාසල් නිවාඩු දෙන දවස තමයි කොල්ලො ආතල් (කොල්ලන්ගෙ වචන) ගන්න දවස. ඒ කියන්නෙ නිල් ගහ ගැනීම්, ගුටි ගහ ගැනීම්, ලයින් දැමීම් වගේ මෝඩකම ප්‍රදර්ශනය කරන ගොඩක් වැරදි වැඩ සඳහා හොදම දවස විදියට කොල්ලො ‍තෝරගන්නෙ නිවාඩු දෙන දවස. හැබැයි මේ සැරේ අපේ ඉස්කෝලෙ නම් ඒව තිබුනෙම නෑ. විනය ආරක්ශා කරගන්න අපේ ගුරු මහත්වරුන් ගොඩක් මහන්සියෙන් එකමුතුව ක්‍රියා කිරීමතමයි හේතුව. අනිත් ඉස්කෝල ගැන මම දන්නෙ නෑ.

තව එකම එක දෙයක් කියන්න ඕන...... මේ මාසෙ 6 පටන් ගන්න අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින දූදරුවන්ට අපි සුභ පතනව ඒ වගේම ප්‍රර්තනා කරනව හොදට විභාගෙට මූණ දෙන්න කියලනම් නෙවෙයි, විභාගෙන් පස්සෙ ප්‍රථිපල නිකුත් කරද්දි Z-Score අවුලක් නොවේවා කියල. 

නියම නිවාඩුවක් වේවා.....

Tuesday, July 31, 2012

කෙල්ලන් සමග වලියක්......

කොල්ලෙකුට අම්බානට නෙලන කෙල්ලෙක්

ඊයෙ වෙච්ච සිද්ධියක් නිසා අමුතු කල්පනාවක් මට පහලවුනා.
සිද්ධිය මේකයි,
8 වසරේ කොල්ලෙක්ට කෙල්ලෙක් ටොක්කක් ඇන්න. ඊට පස්සෙ කොල්ලො 5 දෙනෙක් විතර අර කෙල්ල වටකරගෙන ඒකිට ටොකු ඇන්න. මම දෙගොල්ලන්ටම බැන්න.

කොල්ලන් හා කෙල්ලන් අතර බැදීම.

1-5 වසර - කවුරුත් එක වගේ වෙනසක් නෑ. එකට සෙල්ලම් කරයි. විනෝදයෙන් සිටී.
6-8 වසර - කෙල්ලන් හා කොල්ලන් අතර සෑම විටම වලි ඇවිලේ. විටෙක කෙල්ලන් කොල්ලන්ට ගුටියක් ඇන දුවයි ඉන්පසු කොල්ලන් පස්සෙන් පන්නමින් කෙල්ලන්ට ගුටි බෙදයි. කෙල්ලන් යටිගිරියෙන් බෙරිහන්දෙයි.
9 වසර - කොල්ලන්ට කෙල්ලන් අමුතු සතුන් සේ පෙනේ.එම නිසා වැඩි තැකීමක් නොකරයි.
10-11 වසර - කොල්ලන්ට කෙල්ලන් ගේ ලස්සන පෙනේ, එම නිසා ඇතැමුන් අතරේ සම්බන්දතා ඇතිවේ. සබඳතා නිසා කොල්ලන් කොල්ලන් අතරේ වලි ඇවිලේ. කෙල්ලෙක් නිසා කොල්ලන් දෙදෙනෙකු ගැ‍ටුම් ඇතිකර ගනී. එවිට එම කොල්ලන්ගේ යාළුවන්ද දෙපිළට බෙදී අමනාපකම වලියක් බවට පරිවර්ථනය කරගනී.
12-13 වසර - කෙල්ලන් කොල්ලන් එක බත්පත බෙදාගෙන කා සහෝදරයන් සේ හැසිරේ. ඇතැමුන් සබඳතා වර්ධනය කර ගනී. ලිංගිකත්ව හැගීම් ඇතිවේ. සහෝදර කෙල්ලන්ගේ යහළු කෙල්ලන් ගැන සිතයි. ඔවුන් ගැන කෙල්ලන්ගෙන් විමසයි.

ඔන්න ඔහොමයි වෙන්නෙ......
ඔබතුමන්ල තුමීන්ල මොකද හිතන්නෙ......


Saturday, July 28, 2012

ගුටියක් කමු....


දඩුවම හා අධ්‍යාපනය



එක්තරා පාසලක ගුරුවරුන් දෙපලක් සිටී. එක් අයෙක් ළමයින්ට උපරිම කරුණාව දක්වයි. අනෙක් කෙනා පොඩි වරදටත් ඒ වරදේ ස්වභාවය අනුව දැනෙන්න දඩුවම් කරයි. නමුත් මොවුන් දෙදනාම සිසුන්ගේ පූර්ණ භක්තියට ආදරයට ගෞරවයට ලක්වේ.
මේක බලන් හිටපු වෙනත් ගුරුභවලතෙක් සමහර ළමයින්ට ආදරයත් සමහරුන්ට උපරිම දඩුවමත් ලබාදීමට පටන් ගත්තේය. ඔහොම ටික දවසක් කරන් යනවිට හදිස්සියේම පාසලට පොලීසියෙන් පැමිණියේය. කාරණාව මෙයයි, අර ගුරුවරිය එක හැන්දෙන් නොබෙදා ඒඒ සිසුවාට ඒ ඒ හැන්දෙන් බෙදීම නිසා සිසුන් කිහිප දෙනෙක් ඔවුන්ට කරන වෙනස්කම් ගැන නිවසට පැමිණිලි කර ඇත. ඉන්පසු දෙමව්පියන් ඉතිරිහරිය බලාගෙන ඇත.

මේ සිදුවීම අප පාසලට ආරංචි වුනේ ඊට දිනකට පසුවයි. ඔන්න එදා දවසේ මාතෘකාව බවට එම සිදුවීම පත්විය. එම කතාබහේ සාරාංශයක්  මා පහතින් දක්වමි.

දඩුවම අනුමත කරන පිරිස,
1. වරද දු‍ටු තැන දඩුවම් කලාට කම් නැත නමුත් දඩුවම ඒ ඒ පුද්ගලයාට අනුව වෙනස් නොවිය යුතුය.(පුදගලානුබද්ද නොවීම)
2. දඩුවම් කලාට කමක් නැත. නමුත් වරදේ ස්වභාවය අනුව දඩුවමේ ස්වභාවය තීරණය විය යුතුය.
3. දඩුවම් කල සැම විටම සංවේදනයක් සිසුවාට ලබාදිය යුතුය.
4. ශරිරික දඩුවම සෑම විටමු සුදුසුය, මානසික දඩුවම එතරම් සුදුසු නොවේ.

දඩුවම අනුමත නොකරන පිරිස,
1. දඩුවම් කිරීම නිශ්ඵලදායකය.
2. දැන් ඉන්න ළමයින්ට ගැහුවට බැන්නට දැනෙන්නේ නෑ. එයාලට ඕන දැනුම විතරයි ගුණධර්ම නොවෙයි.
3. දඩුවමක් දීම කළ යුතුමනම් මානසික දඩුවමක්  දීම සුදුසුය.
4. සිසුන්ට නිවැරදිව අවශ්‍ය දැනුම ලබාදීම ප්‍රමාණවත්ය, දඩුවම අධ්‍යාපනයට අදාල නොවේ.

නීතිය,
සිසුවකුට  දඩුවම් කිරීම කළ යුත්තේ අඩියක් දිගැති කෝ‍ටුවක් අතට ගෙන වැළමිට සිරුරට තදකර සිසුවාගේ උරයට තුන්වරක් සෙමෙන් තට්‍ටු කිරීමයි. මෙය ප්‍රංශ නීතියකි.


දෙමාපිය නීතිය,
හහ් එහෙම කොහෙද, අපේ ළමයට ගහන්න එයා කවුද.... මෙසේ කියා එක්කෝ පොලීසි යයි. නැත්නම් ගුරුවරයා පාරේයන වෙලාවක් බලා තම වාහනය ඔහුට හරස්කර හොදට නෙලා අතපය කඩා දමයි.

මට හිතෙන විදිය,
ළමයින් යනු ළමයින්ය, ළමයා ඒ වෙලාවට හිතෙනදේ කරයි. දඩුවම හෝ වෙනත් දෙයක් ගැන සිතනුයේ ඉන් පසුවය, ඇතැමුන් සිතන්නේම නැත. ගුරුවරුන් දඩුවමක් ලබා දුන්නාට කම් නැත. නමුත් අනිවාර්යයෙන්ම සංවේදනයක් ලබාදිය යුතුය. දඩුවමද නිර්මාණශීලී විය යුතුය. එවිට සිසුවාට එම දඩුවම මතකයේ ‍රැදෙනවා සේම වරද වරදක් බව වටහා ගනී. සෑම සිසුවාටම එක හැන්දෙන් බෙදිය යුතුය.
ගුරුවරයා යනු ගුරුවරයා බව සිසුවාද තේරුම් ගත යුතුය. ඔහු දඩුවමක් ලබා දුනහොත් ඒ සිසුවා යහමගට ගැනීමට බව අමතක නොකල යුතුය.

ඔබට හිතෙන  විදිය,






Images From Here

ඉවරයි....

ගුරුවරයා යනු ණයකාරයෙක්ද?




මනුස්සයෙක් අහන්න අහන්න අකමැතිම වචන වලින් එකක් තමයි තමා ණයකාරයෙක් කියන වචනය. ලෝකෙට ණයකාරයෙක් වෙලා ඉදල මොකටද කියල ඉස්සර අපේ වැඩිහිටියො කියනව මම අහල තියෙනව.
මේලඟදි දවසක අපේ ගුරු සෙට් එක ස්ටාෆ් එකට වෙලා වට මේස සාකච්ඡාවක හිටිය. ඔය වෙලාවෙ තමයි මේ ණය මාතෘකාව එලියට පැන්නෙ.
එක්කෙනෙකුට කියවුනා මගෙ ණය වාරිකෙ අදවත් දමන්න ඕනෙ කියල, ඔන්න ඔය වෙලාවෙදි අනිත් අය කියවන්න ගත්ත තමතමන්ගෙ ණය ගැන. සමහරුන්ගෙ පඩිය 30000 යි ඒත් අතට ලැබෙන්නෙ 3000යි. පඩියෙන් 90%ක් ණය වලට කපාගෙන. කොහොමද දෙවියනේ මෙහෙම ජීවත් වෙන්නෙ?

පැත්තකින් හිටිය මට දැනිච්ච දේ,
බහුතරයක් ණයකාරයන් වග සැබෑය. නමුත් ඔවුන් මෙතරම් ණය ලබාගනුයේ ඇයි?
1. උග්‍ර ආර්ථික අර්බුදය හමුවේ ලැබෙන සොච්චම් පඩිය කැළණි පාලම යටින් ගිය පොල් ලෙල්ලක්  මෙන් වීම.
2. ඇතැම් අයගේ විනෝදාංශය "ණය ගැනීම" නිසාය. (මා දන්න එක් චරිතයක් ඇත. ඔහු මසකට වරක් කාගෙන් හෝ ණයක් ගනී.එමෙන්ම පොල්ලක්ද තබයි.)
3. ණයක් වත් නොගෙන තම තමන්ගේ අවශ්‍යතා ඉ‍ටුකර ගැනීම ඉතා අසීරු නිසාය. (නිවසක් තැනීම, මගුල්,අවමගුල්,දාන)
4. මුළු රටම ණයකාරයන්ව ඇතිනිසා අපිත් ණයකාරයන් වීම සුදුසු නිසා.

ලස්සනම දේ ඇතැමුන් ණය ගැනීම ගැන ගල් පැලෙන තර්ක යොදමින් විවේචනය කරන අතරම හවසට බැංකුවේ ණය පෝලිමේ සිටීමය.

* ණය නොගෙන ජීවත් විය හැකිද? ඒ කෙසේද?
මේ ප්‍රශ්නයට පිළිතුරු දීම පාඨක ඔබට බාරයි.
(තහනම් වචනය "ටියුශන්".)

වැදගත් :-
1. "ණයකාරයා"- මෙම වචනය භාවිතා නොකර බැරි නිසා භාවිතා කළෙමි. මාද ඇතුළුව සමස්ථ ගුරු පරපුරට අවනම්බු කිරීමට භාවිතා නොකළෙමි. තරහා අවසර හොදේ.....
2. ගුරුසෙත ණය නවතා ඇත. ( බැංකුවේ තැන්පතු ප්‍රමාණයට වඩා ණය ලබාදී ඇති නිසා ණය නවතා ඇතැයි තතුදත් ආරංචි මාර්ග පවසයි.) දැන් ඉතින් වෙන සෙතක් බලා ගැනීම නුවනට හුරුය.


අවසානයට:-
කෙනෙකුට ණයක් ලබාගෙන එය ගෙවීමේ හැකියාව ඇත්නම් අපට ඇති රුදාව කිම. ණය ගන්නෝ ණය ගත්වා අනෙක් ඈයෝ ඒත් ණය ගත්වා..... හැකි අයුරකින් සියල්ලෝම ගොඩ යත්වා.....

ඉවරයි.........

Images added from here